බ්‍රිතාන්‍ය ජනමත විචාරණය: අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වේ

david cameronබ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනවාද, නැද්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට කැමැත්ත පළ කරමින් 52.48% ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ. ජනමත විචාරණයෙන් ලද පරාජය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැඳිය යුතු බවට ජනමත විචාරණය වෙනුවෙන් රට පුරා ප්‍රචාරණ වැඩසටහන් මෙහෙයවූ අගමැති කැමරන් කියා සිටියේ ජනමත විචාරණයේ ප්‍රතිඵලයෙන් අනතුරුව රටේ පවතින අස්ථාවරත්වය යම් දුරකට සමනය වන තුරු මාස තුනක කාලයක් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කර ඇති නව මාවත ඔස්සේ රට මෙහෙයවීමට අවැසි නායකයා තමන් නොවන බවයි අද උදෑසන ජනමත විචාරණයේ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ ප්‍රකාශයක් කරමින් අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ.

52%කට ආසන්න බ්‍රිතාන්‍ය වැසියන් සිය රට යුරෝපා සංගමයෙන් ඉවත් වනවා දැකීමට සිය කැමැත්ත පළ කරමින් ඡන්දය භාවිතා කර ඇති අතර ලන්ඩන් නුවර, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ පමණක් වැඩි ප්‍රතිශතයක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැදී සිටීම වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කරමින්  බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිතා කිරීමත් සමග ලෝක මුල්‍ය වෙළඳපොළ බරපතළ කැළඹීමකට ලක්වී තිබේ. අද උදෑසන වන විට ලන්ඩන් කොටස් වෙළඳ පොළ 8%ක ප්‍රතිශතයකින් පහළ වැටී තිබෙන අතර බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වසර තිහක කාලයක් තුළ පවුමේ අගය වැඩිම ප්‍රමාණයකින් පහළ බැස තිබේ. යුරෝපා වෙළඳපොළ දිනය ආරම්භ වන විට ඉතා අහල ප්‍රතිශතයකින් පහළ වැටී තිබුණු අතර ආසියාවේ වෙළඳපොළට ද ඉතා බරපතළ ලෙස බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේ ප්‍රතිපලය බලපෑ ඇත.

එංගලන්ත මහ බැංකු සභාපති මාර්ක් කාර්නේ කියා සිටියේ ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ආර්ථිකයේ කඩාවැටෙන සුළු ස්වභාවයක් ඇති වීමට ඉඩ ඇති බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *